Wednesday, September 21, 2011

කොළඹ පොත් ප්‍රදර්ශනය නරඹන්න යනවාද?

කියවීමට රුචිකත්වයක් දක්වන සියල්ලන්ම මග බලමින් සිටින ශ්‍රී ලංකාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය හා සල්පිල මේ දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙනවා. 



මේ කියන්න සැරසෙන්නේ මා එහි යෑමෙන් ලැබුනු අත්දැකීම් වලින් ඔබට උපයෝගී වෙතැයි සැලකෙන කරුණුයි.

වාහනයකින් පැමිණෙන්නන් හට සම්මන්ත්‍රණ ශාලාවට දකුණු පසින් ඇති මලලසේකර මාවතෙහි වාහන නැවැත්වීමේ පහසුකම් තිබෙනවා. විශේෂ අවසරයකින් තොරව ඔබගේ වාහනය සම්මන්ත්‍රණ ශාලා භූමියට ඇතුලු කළ නොහැකියි. ප්‍රදර්ශන භූමියට ඇතුළුවීමට රුපියල් 10ක මුදලක් ගෙවා ටිකට් පතක් මිලදී ගන්නට සිදුවෙනවා. මෙම ටිකට් පත ඉදිරිපත් කිරීමෙන් පිටවී යන විට බීම බෝතලයක් ලබාදෙනවා. ( ප්‍රධාන දොරටුව අසලදී පමණයි. ) ඇතුලුවීමේදී එම දොරටුවේම තිබෙනවා ප්‍රදර්ශන භූමියේ ඇතුලත පිහිටි වෙළඳ කුටි පිහිටා ඇති ආකාරය පෙන්වන සිතියමක්.( නොමිලේ ලබාදේ ) එය අනිවාර්‍යයෙන් ලබා ගන්න. එය ඔබට ඉතා ප්‍රයෝජනවත් වේවි. ප්‍රධාන කාරණාවට මත්තෙන් තවත් කරුණු කිහිපයක් තියෙනවා.

පානීය ජලය  හා ආහාර -
ජලය සම්බන්ධව ඔබ ගැටලුවක් ඇතිකරගත් යුතු නෑ. කුඩා වතුර බෝතලයක් පමණක් රැගෙන යෑම පරමාණවත් වේ යැයි මම උපකල්පනය කරන අතර ඔබට ප්‍රදර්ශන භූමියේ තැනින් තැන තබා ඇති පානීය ජල බඳුන් වලින් එය නැවත නැවතත් පුරවා ගත හැකියි. හැකි නම් ආහාර ඔබ රැගෙන යා යුතු යැයි මා යෝජනා කරන අතර (බිස්කට් පැකට් වඩාත් උචිත වන අතර බත් රැගෙන ගියත් කෑමට තැනක් සොයා ගැනීම එතරම් අසීරු වන එකක් නැත.) ප්‍රදර්ශන භූමිය තුල ඇති කුඩා නූඩ්ල්ස් බඳුනක් රු. 70 ක් වැනි මුදලකට ලබාගත හැකි අතර හොට් ඩෝග් එකක් රු. 120 කට, කෝලා බීම කෝප්පයක් රු.35 කට සහ ප්‍රදර්ශන භූමියේ ඉදිකර ඇති තාවකාලික බොජුන් හල් වලින් තවත් ආහාර වර්ග මිලදී ගත හැකිවනවා. ප්‍රධාන කාරණය පොත් නිසා අනෙකුත් කාරණා ඇති යැයි සිතනවා.

මෙතැනින් ඇරඹෙන පොත් ගවේශනය ඔබගේ මුදල්මය හැකියාව මත පදනම් වේ.

ඔබ අතදිගහැර වියදම් කරන්නට යනවා නම් විශේෂයෙන් කිවයුතු කාරණා ඇත්තේ පොත් ගැන පමණයි.
නමුත්,
ඔබත් සීමිත ආර්ථිකමය රාමුවක් මැද සිටිමින් පොත් තෝරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවානම් පළමුවෙන්ම Hall FB (Bargain Books) වෙත ගොස් එහි ඇති පොත් අතර කාලය මදක් ගත කරනවානම් සහ වඩාත් ඉවසීමකින් යුතුව පොත් තෝරනවානම් ඔබට මැණික් මතුවිය හැකිය.

තවද විවිධාකාර වෙලඳ නාම යටතේ ඇති අභ්‍යාස පොත් මෙන්ම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් (SPC) නිකුත් කර ඇති අභ්‍යාස පොත් අතර මිල වෙනසද ඔබ සලකා බැලිය යුතු කරුණක්. අලුතෙන් ( මා දන්න විදිහට අලුත් ) නිකුත් වී ඇති අභ්‍යාස පොත් වර්ගයක විශාල වෙලඳ කුටියක්ද සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවට ඇතුළුවන දොරකඩම පිහිටා ඇත. අපරටේ නිශ්පාදනයක් යැයි සාඩම්බරව කියන ඔවුන් එම පොත් නිපදවා ඇති කඩදාසි නම් ඉම්පෝටඩ් යැයි හීනියට ගසා ඇත.(SPC හැරෙන්නට අනෙකුත් සියලුම දෙනා එසේ යැයි මා සිතමි. ) කෙසේනමුත්..... අභ්‍යාස පොත් නම් මා දුටු මිල අඩුම ස්ථාන වන්නේ SPC හා ඊට ඉදිරිපසින් ඇති වෙලඳ කුටියයි.

මෙම පොත් ප්‍රදර්ශනය තුලදී අලුතින් නිකුත් වී ඇති නිකුත් වෙන ( ප්‍රදර්ශනය අතරතුරදී පොත් දොරට වැඩීමේ උත්සව පැවැත්වේ ) පොත් 400 ක ප්‍රමාණයක් ගැනද ඔබට තොරතුරු දැනගත් හැකිය. මා හට හැඟෙන පරිදි මල් පොත් වසංගතය තාමත් සමාජයෙන් ඉවත්වී නැති වූවත් පරිවර්තන කෘති වලටද ඉතා හොඳ ඉල්ලුමක් ඇත. 
තවත් කරුණක් - එකම පොත විවිධ තැන්වල විවිධ මිල ගණන් යටතේ තියෙනවා. සමහර වෙලාවට ඒ පොත ප්‍රකාශකයන්ගේ කුටියේ ඉතාම හොඳ වට්ටමක් දීලා තියෙනවා (බොහෝ විට) තවත් වෙලාවකට ප්‍රකාශකයන්ට වඩා වට්ටමක් දෙන වෙන වෙළඳ කුටිත් තියෙනවා. ඒක නිසා යම් පොතක් ගන්නකොට ඒ පොතේ ප්‍රකාශකයන්ගේ මිල ගණන් ගැන දැනුවත් වෙලා ගන්න. මේ ස්ථාන හොයා ගන්න ඔබ අනිවාර්‍යයෙන්ම අදාල සිතියම භාවිතා කල යුතුයි. 

පොත් මිලදී ගන්නා විට ඔබ සැලකිලිමත් වියයුතු දෙයක් තමා ඔබගේ මුදල් පසුම්බිය. කිසිම ආකාරයක සොරකමක් ගැන මා ප්‍රදර්ශන භූමියේ සිටියදී ආරංචි නොවුනත් තමන්ගේ පසුම්බියේ ආරක්ෂාව ගැන සැලකිළිමත් වීම ඉතාම වැදගත්. එමෙන්ම ඔබ ගන්නා පොත් දමාගෙන යෑමට කරේ එල්ලාගෙන යන වර්ගයේ බෑගයක් රැගෙන යන්නේ නම් එය ඉතාම ප්‍රයෝජනවත් වේවි. එක් එක් වෙලඳකුටි වලින් දෙන එක් එක් බෑග් වල පොත් දමාගෙන යෑමේදී ඔබට නොදැනුවත්වම එක් බෑගයක් මගහැරෙන්නට පුලුවන්, නැතිනම් ඔබ පොතක් රාක්කයකින් රැගෙන පෙරලා බැලීම සඳහා අතේ තිබෙන පොත් මලු බිමින් තැබූ විට එය නොදැනුවත්වම අමතක වී දමා යෑමට පුලුවන්. ( මෙම අමතකවී දමා යෑම් නම් සෑහෙන්න සිදුවේ ) එනිසා ඔබ මිලදී ගන්න පොත් ඔබගේ ගමන් මල්ලට දමා ගැනීමෙන් ඒවා අමතක නොකර ගෙදර ගෙනයෑමට ඔබට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම ගන්න පොත් තම බෑගයට දමා ගැනීමෙන් ඔවුන් ලබාදෙන පොලිතීන් කවරය කාරුණිකව ප්‍රතික්ශේප කර ඔබට පරිසරය සුරැකීමටද දායක වීමට පුලුවන්.

තවත් කරුණක් - ඔබ මිලදී ගන්නා පොත් සඳහා සෑම කුටියකින්ම පාහේ බිල්පතක් නිකුත් කරනවා. ඔබ ඒ බිල්පත ඒ මිලදී ගන්න පොත ඇතුලේම දමා ගන්න. බිල්පතක් නොමැතිව ගන්නා සෑම දෙයක් ගැනම පොඩි කොල කෑල්ලක සටහනක් තබා ගන්න, දවස අවසානයේදී ඔබගේ වියහියදම් ගැන ඔබට අවබෝධයක් ලබා ගැනීමට එය උපකාරී වේවි.

අවසාන වශයෙන්
ඔබ යන්නේ පොත් ගන්නට නම් ඔබගේ තම ශරීරය නිරාවරණය වන ඇඳුම් ඇඳීමෙන් වලකින ලෙස කාන්තාවන්ට මතක් කරනවා.( සෑහන්න අව්ව ;) ) පොත් ගැනීමට නෙවේ නම් ඔබ වෙළඳ කුටි තුල නොතෙරපී පැත්තකට වී ඔබගේ කාරිය කරගැනීම වඩාත් හොඳය.
ඔබ එන්නේ කාන්තාවන්ගේ ඇඟේ හැපෙමින් තෘප්තිමත් වන්නට නම් කරුණාකර හොඳට බාධක දුවන්නට පුලුවන් ආකාරයෙන් සැරසී එන්න.
මෙහිදී මා දුටු අලුත්ම කාරණය නවතම පො*න රැලයි. උන් කරන්නේ මාකටින් බව දැනගන්න උන්ට අවධානය පෙනවා උන්ව අප් නොකිරීමට වගබලා ගන්න.

ඉතින් ඔන්න මා ඇසූ දුටු දෙවල් වලින් ඔබට ප්‍රයෝජනවත් දේ පිළිබඳව ඔබට වාර්ථා කලා. මෙය යම් ආරක පෞද්ගලික දැකීමකි. ඔබ මේ සියළු දේ වෙනස්ව දකින්නට පිළිවන. 

ඔබට සාර්ථක පොත් ගවේශනයක යෙදෙන්නට හැකියාව ලැබේවා.!!!!





(පිංතූර නෙට් එකෙන් උස්සපුවාය.)


Monday, September 19, 2011

බෞද්ධයන් හට අගනා පොත් රැසක් නොමිලේ



මේ තොරතුර මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ ඉතා වටිනා ධර්ම ග්‍රන්ථ රැසක් නොමිලේ භාගත කරගනීමට ඇති අවස්ථාවක් ගැනයි.
ප්‍රථමයෙන්ම මේ වෙබ් අඩවිය පිලිබඳ තොරතුර මා හට ලබාදුන් සමන් විතානගේ මහතාට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර මෙහි ඇති ඵලය වටහාගෙන මෙයින් ප්‍රයෝජන ගන්නා ලෙස නුවණැත්තන්ට ආරාධනය කර සිටිනවා.

ඕගාතරණ නමින් නම් කර ඇති මෙම වෙබ් අඩවියෙන් මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ ඉතා වටිනා ධර්ම ග්‍රන්ථ රැසක් මෙන්ම සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, බුත්සරණ ආදී වටිනා පැරණි සිංහල ග්‍රන්ථ රාශියක්ද පාලි සිංහල ශබ්දකෝෂය, පංච මහා වාදය වැනි ග්‍රන්ථද නොමිලේ භාගත කරගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

එම වෙබ් අඩවිය නිර්මාණය කල සියලු දෙනාට අපගේ අනේක ස්තූතිය පිරිනැමිය යුතු අතර මෙම සත්කාර්යය තවදුරටත් කරගෙන යාමට සුභපතමු.




එම වෙබ් ලිපිනය : http://www.ogatharana.org/